ශේෂාද්‍රි දැන් සම්පූර්ණයෙන්ම ගෘහණියකගේ භූමිකාවට පමණක් සීමා වෙලා කියලා ආරංචියක් ආවා. ඇත්තද මේ කතාව?
නැහැ නැහැ. හැබැයි සීයට පනහක් ගෘහ ජීවිතයට තැන දීලා ඉතුරු සීයයට පනහ මගේ අනිත් වැඩ ඒ කියන්නේ රංගන සහ අධ්‍යාපන කටයුතු වලට තැන දීලයි තියෙන්නේ. පහු ගිය කාලේ සාද වලට එහෙම සහභාගී වෙන්න බැරි වුණා මගේ වැඩත් එක්ක. ඉතින් මාව වැඩිපුර දැක්කේ නැති නිසා හැමෝම හිතලා තියෙන්නේ විවාහයෙන් පස්සේ රංගනයට සමු දීලා කියලයි. මම
දැනගෙන හිටියෙත් නැහැ මම රංගන කටයුතු වලට සමු දීලා කියලා. හැමෝම වගේ අහද්දි තමයි දැන ගත්තේ.
ඉතින් මෑත කාලීනව ඔබ රංගනයෙන් දායක වුණු නිර්මාණ දකින්න ලැබුණේ නැහැ නේ?
විවාහ වුණාට පස්සේ මම චිත්‍රපට දෙකකටම දායක වුණා. කෙහොමටත් ඉස්සර ඉඳලම මම සීමාවක් ඇතුවයි රංගන කටයුතු වල යෙදුණ්. මට හිතුණොත් සමු ගන්න ඕනේ කියලා එදාට මම සමු ගන්නවා. නමුත් තවම එහෙම අදහසක් නැහැ. විවාහ වෙන්න කලින් වුණත් මම රඟපෑවේ වසරකට චිත්‍රපටයක් හෝ දෙකක් පමණයි. දැනුත් එහෙම තමයි.
රංගනයට සම්පත් තහංචි පනවපු අවස්ථා නැද්ද?
එහෙම නීති දාලා නැහැ. මම කරන දේ හරි නම්, කරන දේ ගැන මට විශ්වාසයක් තියෙනවා නම් එයා මට සම්පූර්ණ නිදහස දීලයි තියෙන්නේ.
දැන් ගෙදර වැඩ කටයුතු පුරුදුයි වගේ?
මම ඒ දවස්වල ඉඳලම ගෙදර උයන පිහන, ගෙවල් අස් කරන වැඩ කළා. ගෙදර ඉන්න කාලේදිමයි ඒ ට්රෙනිං එක ලැබුණේ. ඒ නිසා දැන් කරදරයක් නැතුව කරගෙන යනවා. ගෙදර අලංකරණ කටයුතු පවා මට අවශ්‍ය විදිහට කරන්න මගේ සැමියාගෙනුත් සහයෝගය ලැබෙනවා. කෑම බීමත් එහෙමයි. ඔහුගෙන් කරදරයක් නැහැ. කිසිම අඩුපාඩුවක් නොකියා රස කර කර කනවා.
ශේෂාද්‍රිට හොඳට ඉවුම් පිහුම් පුළුවන්ලු නේද?
ඔව් ඔව්. පුළුවන්. සාමාන්‍ය කෑම වගේම අමුත අමුතු ෆැන්සි කෑමත් හදන්න පුළුවන්.
කොහෙන්ද අප්පේ ඉගෙන ගත්තේ?
ටී.වි. එකේ යද්දි බලන් ඉඳලා ඒ කෑම හවසට හදලා බලනවා. තව රෙසපි බලා ගෙන හදන කෑම ජාතිත් තියෙනවා. මම මුලින්ම ඉගෙන ගත්තේ පරිප්පු හදන්න. අම්මි තමයි මට කියලා දුන්නේ. මම හිතන්නේ පරිප්පු හරියට හදන්න දන්නවා නම් අනිත් ඕන කෑමක් හදන්න පුළුවන්.
පහසුවෙන්ම හදන්න පුළුවන් මොන වගේ කෑම ජාතිද?
පරිප්පු. මම වැඩියෙන්ම කන්න කැමැතිත් පරිප්පු. ලේසියෙන්ම හදන්න පුළුවන් වගේම වැඩිපුරම හදන්න කැමැතිත් පරිප්පු.
කෑම හදන්න ගිහින් වැරදුණු දවස් නැද්ද?
එක පාර ජාති දෙකක් හදන කොට අනික කර වෙලා තියෙනවා. මේ ළඟදී හදපු කෑමකත් ලුණු වැඩි වුණා. ඊට පස්සේ අනිත් කෑමෙන් ලුණු වැඩි ගතිය ෂේප් කර ගත්තා. කනකොට අවුලක් වුණේ නැහැ. අනික වැරැදුණා කියලා සම්පත් මුකුත් කියන කෙනෙක් නෙමෙයි. කොච්චර ලුණු වැඩි වුණත් රහ කර කර කයි. ඔහු එහෙම කරදර කරන්න කැමැති කෙනෙක් නෙමෙයි.
සම්පත් වැඩිපුරම කැමැති මොන වගේ කෑම ජාතිවලටද?
එහෙම වැඩිපුරම ආස කෑම ජාති කියලා විශේෂයක් නැහැ. මම මහන්සි වෙලා හදන ඕනම දෙයක් ඔහු කනවා.
ශේෂාද්‍රිගේ විලාසිතා දැන් වෙනස් වෙලා වගෙයි. සම්පත්ගෙන් තහංචියක් වත් පැනවුණාද?
එදා ඉඳලම ඇඳපු පැළඳපු විදිහටයි තවමත් අඳින්නේ පළඳින්නේ. විවාහ වුණා කියලා මගේ විලාසිතා වල කිසිම වෙනසක් වෙලා නැහැ. කොහොමත් මම ගොඩාක් කොටට ඇඳුම් ඇඳලා විලාසිතා කරපු කෙනෙකුත් නෙමෙයි. ෂොපිං ගියහම දැන් මගේ ඇඳුම් ගොඩක් වෙලාවට තෝරන්නේ සම්පත්. ඔහුට හොඳ ටේස්ට් එකක් තියෙනවා. මම තෝරන ඇඳුමකට එයා ලස්සනයි කිව්වොත් මම දන්නවා ඒ ඇඳුම ඇත්තටම මට ලස්සනයි කියලා.
ඔය දෙපළගේම කැදැල්ලකට යන්න දැන්ම අදහසක් නැද්ද?
අලුත විවාහ වුණු හැමෝටම වගේ අපිටත් ඒ අදහස තියෙනවා. අපේ ඊළඟ ප්ලෑන් එකත් ඒක තමයි. තව වසරක් ඇතුළත ඒ අදහස ඉටු කර ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ. එක පාරටම ඒ දෙවල් කරන්න බැහැ නේ.
ශේෂාද්‍රි සැහැල්ලුවෙන් ගත කළ ජීවිතය හා වගකීම් ඇතුව ඔබ අද ගත කරන ජීවිතය අතර වෙනස කොහොමද දකින්නේ?
ඒ දවස් වල සැහැල්ලුවෙන් හිටියා. දැන් වගකීම් වැඩියි, නිදහස අඩුයි කියලා හිතන්න බැහැ. ඒ හැම දේම වෙනස් වෙන්නේ අපි හිතන පතන විදිහ අනුවයි. මම ඇත්තටම ගැඹුරට හිතන කෙනෙක් නෙමෙයි. දවස පටන් ගැන්මේ සිට රෑ නින්දට යනකම් ඒ වෙලාවට කරන්න තියෙන දේ ඒ වෙලාවේ කරනවා නම් ඔය කියන ප්‍රශ්න නැහැ. ඒ නිසා ඉස්සර ජීවිතෙයි දැනුයි කියලා මට ලොකු වෙනසක් දැනේනේ නැහැ. බඳින්න කලින් මට සහකරුවෙක් ඉන්නවා මම එයා ගැන බලන්න ඕනේ කියලා වැඩි පුර හිතුවේ නැහැ. නමුත් දැන් මම වැඩි පුර හිත්නනේ ඔහු ගැන. ඔහුගේ ජීවින සහකාරිය විදිහට ඔහුගේ වැඩ කටයුතු වලට සහාය වෙන්න ඕනේ. ඒ වගකීම ඉබේම ඇති වෙනවා.
දැන් අකක්ලා නංගිලට එකට විනෝදෙන් ගත කරන්න ලැබෙන කාලය අඩු වීම ගැන දුකක් නැද්ද?
ඔව්. ඒ කාලය නම් අඩුයි. හැබැයි ඉතින් ඒ තමයි යථාර්ථය. ගැහැනු ළමයි තුන්දෙනෙක් විදිහට අපිට හැම දාම එකට ඉන්න බැහැ. අනිවාර්යෙන්ම විවාහ වුණ දවසකට ගෙදරින් පිට යන්න සිද්ද වෙනවා. අපි හැමෝම එය තේරුම් ගත යුතුයි මෙන්ම ඒ යථාර්තයට මුහුණ දිය යුතුයි.
දෙන්නා තුන්දෙනා වෙන්න දැන්ම අදහසක් නැද්ද?
බබා එන්න ඕනේ වෙලාවට බබා අපි ළඟට එයි. ඒ ගැන ලොකුවට හිතන්නේ නැහැ. එහෙමයි කියලා දැන් වුණත් මට බබෙක් ලැබෙනවා මගේ අකමැත්තක් නැහැ.
Comments
Post a Comment