සුදේශ් නොව රට දිනුම්ය…! Gossip Lanka 9


“පුතේ මේ පාරත් සුදේශ් දිනලා නේද?” මගේ අම්මා එහෙම උද්දාමයකින් උදේ පාන්දරම මට දුරකතන ඇමතුමක් දුන්නේ ඇය ක්‍රීඩා ලෝලියෙක් නිසා නෙවෙයි සුදේශ් අපේ ගමේ එකෙක් නිසා.
සුදේශ් කියන්නේ ළමා කාලයේදීත් අනන්ත අප්‍රමාණ දුක් කන්දරාවක් වින්ද එකෙක්. 2010 පොදුරාජ්‍ය මණ්ඩලයීය තරගාවලියේ දී පදක්කමක් දිනීමෙන් පසුව පවා ඔහු ප්‍රශ්න ගණනාවකට මුහුණ දුන්නා.
ඒත් ඒ හැම වෙලාවකම සුදේශ් ඒ බරත් උස්සන් නැගිට්ටා. හරියට ලොකු බරක් අරගෙන ක්ලීන් ඇන්ඩ් ජර්ක් එකක් කරනවා වගේ.
තමන් දිනා දුන් ජයග්‍රහණ වෙනුවෙන් අඩුම වරප්‍රසාද දිනපු ක්‍රීඩකයත් සුදේශ්ම තමයි. ඉල්ලන් යන්නේ නැති එක සුදේශ්ගේ පුරුද්දක්. තමන්ට හැකි උපරිමයෙන් සටන් කිරීම පමණයි ඔහුගේ විශ්වාසය.
අපිට ක්‍රීඩා කරන්න ගත්තහම ප්‍රතිවාදියා පාලනය කරන්න බෑ. ප්‍රෙක්ෂකාගාරය පාලනය කරන්න බෑ. තරග නීති රීති පාලනය කරන්න බෑ. හැබැයි අපේ පාලනයේ එක දෙයක් තියෙනවා. ඒ තමයි තමන් සටන් කරන්නේ කෙසේද කියන එක. සුදේශ් ඒක නියමෙට පාලනය කළා.
මිනිහෙක් මැරිලා ගිය දවසට පස්සේ ඉන්න පරම්පරාව ඒ මිනිහා ඇන්දේ මොන වගේ ඇදුම් ද, ගියේ මොන වගේ වාහනයක ද, ජීවත් වුණේ මහල් කීයක නිවසකද කියලා මතකේ තියා ගන්නේ නෑ. හැබැයි ඒ මිනිහා කොතරම් ශක්තිමත් ලෙස ජීවිතේ සටන් කළා ද කියන එක මිනිස්සු කතා වෙනවා. ඒ අර්ථයෙන් සුදේශ් දිනුම්.
ඇත්තටම උඹ ගැන මම ලියනවා මචං. මගේ අලුත් පොතේ උඹ වෙනුවෙන් මම පරිච්ඡේදයක් වෙන් කරනවා. ඒ වෙන මුකුත් නිසා නෙවෙයි.
සමහරුන්ට පිටරට සංචාර ආතල් සවාරියක්. හැබැයි උඹ මේ පාර කණ්ඩායමේ නායකයා. ඒ නිසා උඹට වගකීමක් තිබුණා. මේ පාර උඹ නැගිට්ටේ කිලෝ 273 ක බරක් කරේ තියාගෙන නෙවෙයි. මුළු රටේම බර කරේ තියාගෙන නිසා. ඒ නිසා මචං..ඇත්තටම සුදේශ් දිනුම් උඹ නෙවෙයි..අපි පය ගහලා ඉන්න මව් රටයි…!
(භාතිය අර්ථනායකගේ FB ගිණුමෙන් උපුටාගත්තකි)
-http://gossip.asianmirror.lk-
sudesh

Comments