මහේල ටෙස්ට් ක්‍රීඩාවෙන් සමුගනී. Gossip Lanka 9


ශ්‍රී ලංකාවෙන් බිහිවූ සුපිරි ටෙස්ට් ක්‍රීඩකයෙකු වන මහේල ජයවර්ධන එළබෙන ශ්‍රී ලංකා පකිස්ථාන ටෙස්ට් තරගාවලියෙන් පසුව ටෙස්ට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා.

ඊට අදාල ලිපිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා වෙත භාර දුන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටිනවා.

37 වෙනි වියේ පසුවන මහේල ජයවර්ධන කුමාර් සංගක්කාරට පසුව ටෙස්ට් වැඩිම ලකුණු සංඛ්‍යාවක් හිමි ශ්‍රී ලංකා ක්‍රීඩකයාද වනවා.ටෙස්ට් තරග 145 කදී ලකුණු 11493 ලබා ගෙන ඇති ඔහු ශතක 33 ක් සහ අර්ධ ශතක 48 ක් හිමි වනවා.

"වසර 18 ක් කණ්ඩායම නියෝජනය කිරීම මා සලකන්නේ විශාල ගෞරවයක් මෙන්ම වරප්‍රසාදයක් ලෙසයි, එමෙන්ම මේ තීරණය ගැනීමද මට ලේසි පහසු කටයුත්තක් වුනේ නැහැ.නමුත් මං විශ්වාස කරනවා මේක තමයි හොදම වෙලාව." මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහේල පවසන ලදී.

මාධ්‍ය වෙත තම අදහස් දක්වමින් සනත් ජයසූරිය පවසා සිටියේ " ඔහු මට දුරකථන ඇමතුමක් දී පවසා සිටියා, ඔහුට තව තරග 4 කින් පසුව ටෙස්ට් ක්‍රීඩාවෙන් සමුගන්නට අවශ්‍ය බවත් ඉන්පසුව 2015 එක්දින ලෝක කුසලානය දක්වා එක්දින තරග වලට ඔහු කාලය යොමු කිරීමට අවශ්‍යයි කියා.මං හිතනවා එය තීරණය කිරීමට සුදුසුම පුද්ගලයා ඔහුයි කියලා.ඔහු මේ වනතුරු ශ්‍රී ලංකා කණ්ඩායමට අනගි සේවයක් ඉටු කරලා තියෙනවා, ඒ වගේම යොවුන් ක්‍රීඩකයන්ට අවස්ථාවක් දීමක් වශයෙන් තමයි ඔහු ටෙස්ට් පිටියෙන් ඉවත් වන්නේ."

ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් ලෝක වාර්ථා රැසක් පිහිටුවා ඇති අතර එයින් විශේෂ වන්නේ කුමාර් සංගක්කාර සමග ඕනෑම කඩුල්ලකට පැවැත්වූ වැඩිම ලකුණු සම්බන්ධතාවය වන ලකුණු 624 සම්බන්ධතාවයයි.

එමෙන්ම ඔහු 4 වන කඩුල්ල සදහා තිලාන් සමරවීට සමග 437 සම්බන්ධතාවයක් පවත්වා ඇති අතර 6 වන කඩුල්ල සදහා ප්‍රසන්න ජයවර්ධන සමග 351 සම්බන්ධතාවයක් පවත්වා  ඇත. එමෙන්ම උඩ පන්දු 197 රැක ගෙන වැඩිම  උඩ පන්දු රැක ගත් ක්‍රීඩකයන් අතුරින් 3 වන ස්ථානයේ ඔහු රැදී සිටිනවා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් 374 වැඩිම ටෙස්ට් ලකුණු සංඛ්‍යාවක් වාර්ථා කර ඇති අතර මේ වන විට  ටෙස්ට් ලකුණු සාමාන්‍ය 50.18 තරම් ඉහල අගයක රදවා ගැනීමට සමත් වී තිබෙනවා

Comments