අලූත්ගම - බේරුවල නොසන්සුන්තාව පාලනය කෙරේ.-(වීඩියෝ) Gossip Lanka 9

කිසිඳු පුද්ගලයෙකුට නීතිය සියතට ගෙන කටයුතු කිරීමට ඉඩ නොදෙන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අදාළ සියලූ පාර්ශවයන් සාමකාමීව ඉවසීමකින් යුතුව කටයුතු කළ යුතු බවයි අලූත්ගම සිද්ධිය සම්බන්ධයෙන් අන්තර් ජාල ට්විටර් වෙබ් අඩවිය ඔස්සේ ප‍්‍රකාශයක් නිකුත් කළ ජනාධිපතිවරයා සඳහන් කළේ. එමෙන්ම අලූත්ගම සිද්ධියට වගකිව යුතු පුද්ගලයන් නීතිය ඉදිරියට පමුණුවාලීම සඳහා පරීක්ෂණයක් පවත්වන බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

අලූත්ගම සහ බේරුවල ප‍්‍රදේශවල ඊයේ (15) සිට පැවැති නොසන්සුන්තාව ආරක්ෂක හමුදාව විසින් මේ වනවිට පාලනය කර ඇති බව රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා. මෙවැනි තත්ත්වයක් ඉදිරියේදී ඇතිවීම වැළැක්වීම සඳහා අග‍්‍රාමාත්‍ය දි.මු. ජයරත්නගේ ප‍්‍රධානත්වයෙන් කළුතර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේ විශේෂ සාකච්ඡාවක් ද අද උදෑසන පැවැත්වුණා. එහිදී ගැටළු ඇති විය හැකි ස්ථානවලට හා එම ස්ථානවලට ප‍්‍රවේශ විය හැකි සියලූ මාර්ග වල ආරක්ෂක හමුදා ස්ථාන ගත කිරීමට තීරණය වී තිබෙනවා.

බෞද්ධ ස්වාමීන් වහන්සේලා සහ මුස්ලිම් ආගමික නායකයන් විසින් ශබ්ද විකාශන යන්ත‍්‍ර උපයෝගී කර ගනිමින් සන්සුන් වන ලෙස ප‍්‍රදේශයේ ජනතාවගෙන් ඉල්ලා සිටිය යුතු බව ද එහිදී ගනු ලැබූ තීරණයක්. මෙවැනි ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවල නිරත වන අන්තවාදී සුළු පිරිස ගැන සොයා බැලීම සහ අවශ්‍ය නීතිමය කි‍්‍රයාමාර්ගය ගත යුතු බව ද එහිදී තීරණය කර තිබෙනවා. ජන කොටස් දෙකේ සුහදතාව වර්ධනය කිරීම සඳහා එම ජන කොටස්වල නායකයන්ගේ ප‍්‍රධානත්වයෙන් අවශ්‍ය කි‍්‍රයාමාර්ග ගැනීම ද එහිදී ගත් තවත් තීරණයක්.

මේ අතර, අලූත්ගම ප‍්‍රදේශයේ උද්ගත වූ තත්ත්වය පිළිබද කළුතර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේදී අද උදෑසන පැවැති සාකච්ඡාවට පොලිස්පති එන්.කේ. ඉලංගකෝන්, බස්නාහිර පළාත් ආණ්ඩුකාර අලෙවි මවුලානා සහ අමාත්‍යවරුන් වන බැසිල් රාජපක්ෂ, මෛත‍්‍රීපාල සිරිසේන, රෝහිත අබේගුණවර්ධන, කුමාර වෙල්ගම සහ එස්.බී. දිසානායක ද එක්ව සිටියා. එම සාකච්ඡාවෙන් අනතුරුව අග‍්‍රාමාත්‍යවරයා අලූත්ගම, බේරුවල, වැලිපිටිය සහ දර්ගා නගරවල නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අතර එම ප‍්‍රදේශවල ජනතාව සමඟ අදහස් හුවමාරු කර ගත් බව අග‍්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළා.

ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ නායක අමාත්‍ය රවුෆ් හකීම් ද අද පෙරවරුවේ එම ප‍්‍රදේශවල සංචාරයක නිරත වූ අතර එක්සත් ජාතික පක්ෂ නායකත්ව මණ්ඩල සභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී කරු ජයසූරිය, පාර්ලිමේන්තු මන්ත‍්‍රී කබීර් හෂීම් ඇතුළු එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් පිරිසක් අද පස්වරුවේ අලූත්ගම සහ බේරුවල ප‍්‍රදේශවල නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. මහජන සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වා ද අද පස්වරුවේ එහි චාරිකාවක නිරත වී තිබෙනවා.

අලූත්ගම සහ බේරුවල ප‍්‍රදේශවලට පනවා ඇති පොලිස් ඇඳිරි නීතිය තවදුරටත් බලපැවැත්වෙන බව පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් ප‍්‍රකාශ කළා. දකුණු කළුතර පොලිස් අධිකාරී කාර්යාලයේ අද (16) පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස්පතිවරයා කියා සිටියේ ප‍්‍රදේශයේ තත්ත්වය පාලනය කිරීම සඳහා අවශ්‍ය සියලූම පියවර මේ වන විට ගෙන ඇති බවයි. 
-http://www.hirunews.lk-